History

පාසල් ඉතිහාසය

දකුණු පළාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ, වැලිවිටිය දිවිතුර අධ්‍යාපන කොට්ඨාසයට අයත් මෙම පාසල වර්ෂ 1925 දී ආරම්භ කර ඇති බව ඉතිහාස තොරතුරු සාක්ෂි දරයි. එවකට එහි පාලනය මහාබෝධි සමාගම විසින් සිදුකරනු ලබා ඇත. පසුව මෙම පාසල රජයට පවරාගෙන “ගා/අම්පේගම ශ්‍රී නන්දසාර මහා විද්‍යාලය” නමින් 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන විද්‍යාලයක් ලෙසට 1993 වර්ෂයේ ආරම්භය දක්වා පවත්වාගෙන ගොස් ඇත. එම විද්‍යාලයේ 1 ශ්‍රේණිය සිට 4 ශ්‍රේණිය දක්වා පන්ති මෙම භූමිය තුළ හා 5 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති මහා විද්‍යාලය තුළ ද වෙන් වශයෙන් ස්ථාන දෙකක පවත්වාගෙන ගොස් ඇත.

එනමුත් පරිපාලන ගැටලු වෙනත් විවිධ හේතූන් මත ප්‍රාථමික විද්‍යාලය වෙනම විද්‍යාලයක් සේ පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව මතුවී ඇත. ඒ අනුව ප්‍රදේශවාසී බොහෝ දෙනෙකුගේ ද ඉල්ලීම හා මූලික මැදිහත්වීම මත, එවකට පැවති දේශපාලන අධිකාරිය හා අධ්‍යාපන බලධාරීන් විසින් මෙම විද්‍යාලය මහා විද්‍යාලයෙන් වෙන් කොට වෙනම පාසලක් ලෙස පවත්වාගෙන යෑම අනුමත කරන ලදි. 1993-01-25 දින මෙම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට, 1993-01-28 දින සිට මෙම පාසල “ගා/අම්පෙගම කනිෂ්ඨ විද්‍යාලය” ලෙසටත්, ද්විතීයික අංශය “ගා/අම්පෙගම මහා විද්‍යාලය” ලෙසටත් පාසල් දෙකක් වශයෙන් මෙලෙස ස්ථාන දෙකක පවත්වාගෙන යෑම ආරම්භකර ඇති බව ලේඛනගත සාක්ෂි වලින් තහවුරුවේ.

මෙලෙස මෙම විද්‍යාලය “ගා/අම්පෙගම කනිෂ්ඨ විද්‍යාලය” ලෙස පවත්වාගෙන යෑම ආරම්භ කළ දින සිට මෙහි ආරම්භක විදුහල්පතිවරයා ලෙසට කටයුතු කර ඇත්තේ රංජන් යූ. ගමගේ මහතාය. ඔහු 1993 වර්ෂයේ සිට 2016 දක්වා වසර 23 ක පමණ කාලයක් මෙහි විදුහල්පති වරයා ලෙසට කටයුතු කර ඇත. ආරම්භයේ දී සාමාන්‍ය ශිෂ්‍ය සංඛ්‍යාවකින් පටන් ගෙන අද වනවිට සෑම ශ්‍රේණියකටම සමාන්තර පන්ති තුනක් සහිතව, ශිෂ්‍ය සංඛ්‍යාව 600 පමණ ඉගෙනුම ලබන, බොහෝ වර්ෂ වලදී ඉතා ඉහළ මට්ටමක ශිෂ්‍යත්ව ප්‍රතිඵල ද පෙන්වා ඇති, ප්‍රදේශයේ ජනප්‍රිය ප්‍රාථමික පාසලක් ලෙසට පත්ව ඇත.

2016-04-08 දින හිටපු විදුහල්පති රංජන් යූ. ගමගේ මහතා හදිසියේ මියගොස් ඇත. එතුමන්ගේ හදිසි අභාවයෙන් පසුව මාස දෙකක කාලයක් නිල වශයෙන් පත් කරන ලද විදුහල්පති වරයෙකු නොමැතිව, නියෝජ්‍ය විදුහල්පතිනි ඒ. ජී. ශ්‍රියානි මහත්මිය විසින් විදුහල්පති ධූරයේ වැඩ ආවරණය කරමින් පාසල පවත්වාගෙන ගොස් ඇත. 2016-06-08 දින නව විදුහල්පති වරයා ලෙස ස්ථාන මාරුවීම් ලබා පැමිණි කේ. කේ. සමන් චන්දන මහතා මෙම විද්‍යාලයේ රාජකාරි බාරගෙන, පාසල තුළ ඉතා ධනාත්මක වෙනස්කම් රැසක් සිදු කරමින්, ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක සංවර්ධනයක් ද සහිත පාසලක් ලෙසට විද්‍යාලය පත්කිරීමට, හඳුනාගත් පාසල් අරමුණු එකිනෙක සාක්ෂාත් කර ගනිමින්, නව මෙහෙවරක් සහිතව නව, නව දැක්මක් කරා පසල දිශානුගත කොට පවත්වාගෙන යමින් සිටී.  තවද 2016 වර්ෂයේ සැප්තැම්බර් මස සිට මෙම විද්‍යාලය ගා/ අම්පේගම ප්‍රාථමික විද්‍යාලය යන නමින් පාසල පවත්වාගෙන යනු ලැබේ.